විදෙස්ගත ශ්‍රමිකයින් විදේශයන්හිදී යම් අනපේක්ෂිත ආපදා තත්ත්වයකට පත්වන (මියයෑම, හදිසි අනතුරුවලට ලක්වීම, සිරගත වීම හා අතුරුදන් වීම) අවස්ථාවලදී එම පවුල් ඒකකවල ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපන ආධාර ලබාදීම සම්බන්ධවයි.

ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම වැඩසටහන අනුව විදෙස්ගත ශ්‍රමිකයන් විදේශයන්හිදී හදිසි ආපදාවලට (මියයෑම, හදිසි අනතුරු, සිරගත වීම හෝ අතුරුදන් වීම) ලක්වූ විට, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට මුල්‍යමය දායකත්වය ලබා දෙයි. 2025 ජනවාරි මස 01 වැනි දිනෙන් පසු ආපදාවන්ට මුහුණ දුන් එවැනි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන දරුවන්ට මේ සඳහා අයැදුම් කළ හැකිය.

අධ්‍යාපන ආධාර ලබාදීම

ඒ අනුව, මෙම වැඩසටහනේ පළමුවැනි අදියර වශයෙන් විදේශයන්හිදී ආපදාවට ලක්වූ ශ්‍රමිකයන්ගේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීම සඳහා පහත පරිදි මාසික ආධාර මුදලක් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

  • 1 ශ්‍රේණියේ සිට අ.පො.ස. (සා. පෙළ) දක්වා ඉගෙනුම ලබන සිසු දරුදැරියන් වෙනුවෙන් වසරක කාලයක් (මාස 12) සඳහා මාසිකව රු. 3,000/- බැගින්
  • 12 සහ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු දරුදැරියන් වෙනුවෙන් අ.පො.ස (උසස් පෙළ) විභාගය පවත්වන තෙක් හෝ වසර දෙකක උපරිම කාලයක් (මාස 24) සඳහා මාසිකව රු. 5,000/- බැගින්

 මෙම අධ්‍යාපන ආධාරය සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය මුලික සුදුසුකම්

  • විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු විදේශයකදී මියයෑම, හදිසි අනතුරකට ලක්වීම, සිරගත වීම හෝ අතුරුදන්වීම යන කුමන හෝ ආපදාවකට ලක්වීම හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ පවුලක ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන දරුවකු විය යුතුය.
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ මෙන්ම එසේ ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන්ගේ දරුවන්ටද මෙම වැඩසටහන සඳහා අයැදුම් කළ හැකිය.
  • දැනට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් හෝ ජනාධිපති අරමුදලේ වෙනත් වැඩසටහනක් මඟින් අධ්‍යාපන ප්‍රතිලාභ නොලබන දරුවකු විය යුතුය.
  • රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන දරුවකු විය යුතුය.

අයැදුම්පත ඉදිරිපත් කිරීම

ඉහත කී  මූලික සුදුසුකම් සපුරා ඇති සිසු දරුදැරියන්, නියමිත අයැදුම්පත්‍රය (මේ සමඟ යා කොට ඇත) සම්පූර්ණ කර, ඊට අදාළ අනෙකුත් ලේඛන සමඟ දැනට ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයාගේ නිර්දේශය හා මාසික ආදායම පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශයද සහිතව  අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදිය යුතුය.

මේ පිළිබඳ වැඩි විස්තර  අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය.

අයදුම්පත්‍රය බාගත කිරීම සඳහා 

 

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2025 ඔක්තෝබර් 08